Thursday, May 31, 2012

අසම්මත ප්‍රේමයේ කවි සිත්තම.......

කුසුම් නොපතන බඹර යුවලට
තෙරක් නොපෙනෙන නිල් අහස යට
ඉගිළ යන්නට තැනක් නොමැතිව
බලා ඉන්නේ කදුළු ගං තෙර

යුග පියාපත් හකුළුවා ගෙන
තැවුල් සගවා පෙම් සිතුම් යට
තුඩින් තුඩ ගෙන ලොවට රහසින
සිනහ කඳුලක් නඟත් නෙතු අග

කුසුම් යායේ බමන බඹරුන් 
අසම්මතයට නඟන ගැරහුම්
යදම් වී ඒ බඹර පා යුග
බැඳ දමා ඇත රුදුරු පොළවට

නමුත් පෙම් සිත් යදම් ලන්නට
නොහැකි බව උන් නොදන්නේ වෙද
දෙහද බැඳී පෙම උතුම් වන බව
නොපිළිගන්නේ කිම ද උන් අද

පියා විදහා ඉගිළ යන්නට
හැකි දිනක් මතු පැමිණෙනා බව
පතා ඒ පෙම්වත් බිඟුන් යුග
පෙමින් සැනසෙත් රහස් කුටියක 

 මුහුණු පොතේ පලවූ ඡායාරූපයකින් උපුටා ගැනිණි.