Monday, July 30, 2012

සමලිංගිකත්වයේ ඉතිහාසය - 2



1789දී සිදුවූ ප්‍රංශ විප්ලවය නිසා එහි තිබූ රාජාණ්ඩුව බිඳවැටුණු අතර රෝමානු කතෝලික පල්ලියට ප්‍රංශයේ තිබූ ආධිපත්‍යයද ඒ සමඟම බිඳවැටුණි. ප්‍රංශයේ සියලු ජනතාවට සමානාත්මතාව සහ නිදහස ලබාදෙන පාලනයක් ඇතිවුණු අතර ඇතිවුණු නව ප්‍රංශ ජනරජයේ සියලුම පුරවැසියන් එක හා සමාන ලෙස සලකා නීති අලුතින් සකස් කෙරුණි. "පුරවැසියකුගේ පුද්ගලික ජීවිතය තවත් කෙනෙකුගේ ජීවිතය හා නොගැටෙන තාක් කල් උපරිම නිදහසක් ලබාදිය යුතුයි" යන සංකල්පය නිසා සමලිංගිකත්වය 1791දී නිරපරාධීකරණය කෙරුණි. ඒ අනුව ප්‍රංශය සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත්කළ පළමු යුරෝපා රට බවට පත්විය.  මේ නීතිය 1810දී ගෙන එනලද Code Napoléon නීතිය හරහා තවත් ශක්තිමත් විය. නැපෝලියන් අධිරාජ්‍යයා විසින් 1804 - 1815 කාලයේ යුරෝපයේ ගොඩනඟන ලද අධිරාජ්‍යය නිසා එයට යටත් වූ ඕලන්දය, බෙල්ජියම,බැවේරියාව යන රටවලද ඕලන්දයට එවකට යටත්ව පැවති ඉන්දුනීසියාවේද 1811දී සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කෙරුණි.

මුළු මහත් යුරෝපයටම දේශපාලනික සහ ආර්ථික බලපෑමක් කළ පළවන සහ දෙවන ප්‍රංශ අධිරාජ්‍ය නිසා එහි විප්ලවීය අදහස් ලෝකය පුරාම පැතිර යන්නට විය. ඒවනවිට යුරෝපයේ රෝමානු කතෝලික පල්ලිවල ආධිපත්‍යය පිරිහී තිබූ අතර Code Napoléonහි පූර්වාදර්ශය නිසා 1830දී  බ්‍රසීලය, 1852දී පෘතුගාලය, 1858දී ඔටෝමන් මුස්ලිම් අධිරාජ්‍යය, 1865දී සැන්මැරිනෝ,1871දී ග්වාතමාලා සහ මෙක්සිකෝව,1886දී ආජන්ටිනාව,1889දී ඉතාලිය ආදී වශයෙන් විවිධ රටවලද සමලිංගිකත්වය නිරපරාධීකරණය විය.පසුකාලීනව ලෝකය පුරා ප්‍රංශයට යටත්වුණු ප්‍රංශ ගයනාව, මැඩගස්කරය, ප්‍රංශ ඉන්දු චීනය සහ බටහිර අප්‍රිකානු රටවල් වැනි රටවල සමලිංගිකත්වයට එරෙහි නීති කිසිවක් පැනවුනේ නැත. මේ තත්ත්වය ප්‍රංශයට යටත් වූ බොහොමයක් රටවල අද දක්වාම දක්නට ලැබෙන්නකි.

ප්‍රංශය හරහා සිදුවූ මෙම ප්‍රවණතාව නිසා වෙනත් රටවල සමලිංගිකත්වයට එරෙහිව තිබූ නීති ලිහිල් විය. ඒ අනුව ජර්මනිය කේන්ද්‍රකොටගත් පෘසියන් අධිරාජ්‍යය 1794දී සමලිංගිකත්වයට පනවා තිබූ මරණ දඬුවම අත්හිටුවා ඒ වෙනුවට මාස හයක සිට අවුරුදු හතරක් දක්වා වූ සිර දඬුවමක් පැනවීය.1832දී රුසියාවේ සාර් රජ පාලනයෙන් සමලිංගිකත්වයට පැනවුණු දඬුවම වූයේ සයිබීරියාවේ අවුරුදු 5ක සිරදඬුවමකි.  1861දී එංගලන්තය සමලිංගිකත්වයට තිබූ මරණ දඬුවම ඉවත්කර ඒ වෙනුවට වසර 10ක සිර දඬුවමක් පැනවීය. මේ අයුරින් සමරිසියෙකුට එංගලන්තය තුළ සිදුකළ අවසන් මරණ දඬුවම 1835දී වාර්තා වේ.

කාල් හයින්රික් අල්රිච්(1825- 1895) 
බටහිර මනෝ විද්‍යාවේ සහ වෛද්‍ය විද්‍යාව ක්‍රමයෙන් දියුණු වීමත් සමඟ සමලිංගිකත්වයට හේතු සොයන්නට විද්‍යාඥයෝ වෙහෙසුණහ. ඒ අනුව විද්‍යාඥයෝ සමලිංගිකත්වය තවත් එක් ලිංගික යොමුවීමක් පමණක් ලෙස සලකන්නට විය. සමරිසියන්ට මෙපමණකල් භාවිතවුණු "sodomite" යන වචනය වෙනුවට "homosexual" යන වචනයසහ"heterosexual"(විෂමලිංගික),"bisexual"(ද්විලිංගික)  යන වචනද මේ මනෝවිද්‍යාත්මක පර්යේෂණ නිසා මුල්වරට භාවිතයට ආවේ 19වන සියවසේ අගභාගයේදීය.

මේ නිසා සමලිංගිකත්වයට එරෙහි නීතිරීති සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස විවිධ පුද්ගලයින් විසින් අදහස් ඉදිරිපත් වන්නට විය. කාල් හයින්රික් අල්රිච් (Karl Heinrich Ulrichs 1825- 1895) නම් ජර්මන් නීතිඥයා එසේ ප්‍රසිද්ධියේ සමරිසි අයිතිවාසිකම් පිළිබඳව කතාකළ පළමු පුද්ගලයා වන අතර ඔහු සමරිසි අයිතිවාසිකම්වල පුරෝගාමියකු ලෙස සැලකේ. සමලිංගිකයකු වූ ඔහු 1867 අගෝස්තු 29දින  ජර්මනියේ මියුනික් නුවර නීතිවේදීන්ගේ ක්‍රොංගසයෙන් සමලිංගිකත්වයට එරෙහි නීතිය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප විය.එමෙන්ම ජර්මන් අධිරාජ්‍යයේ සමලිංගිකයන්ට එරෙහිව 1871දී පණවනු ලැබූ Paragraph 175 නීතිය අවලංගු කරන ලෙස ඉල්ලා ලොව පළමු සමරිසි අයිතිවාසිකම් සංවිධානය වූ WhK(Wissenschaftlich-humanitäres Komitee, ඉංග්‍රීසියෙන්- Scientific-Humanitarian Committee) 1897දී බිහිවුණු අතර එංගලන්තයේ Order of Chaeronea නම් එවන් රහස් සංවිධානයක් එම වසරේදීම බිහිවිය.


ඔස්කාර් වයිල්ඩ්(1854-1900)
1889දී Cleveland Street Scandal නමින් ප්‍රචලිත ලන්ඩනයේ රාජකීයයකු විසින් රහසේ පවත්වාගෙන ගියා යැයි කටකතා පැතිරුණු සමලිංගික ගණිකා මඩමක් පොලිසියෙන් වටලනු ලැබීමත් 1895දී එංගලන්තයේ ප්‍රසිද්ධ රචක ඔස්කාර් වයිල්ඩ් සමලිංගික චෝදනා මත අවුරුදු දෙකක් බරපතල වැඩ සහිතව හිරට යැවීමත් නිසා සමලිංගිකත්වය පිළිබඳ පුළුල් කතිකාවතක් එංගලන්තයේ ඇතිවූ අතරHarden-Eulenburg affair නම් ජර්මන් රජකුමරෙකු සහ ජෙනරල්වරයකු අතර වූ සම්බන්ධයක් 1907දී මාධ්‍යවේදියෙකු විසින් හෙළිකිරීම නිසා එවන් කතිකාවතක් ජර්මනියේද ඇතිවිය.
මේනිසා 20වන සියවස මුල්භාගයේ සිට බටහිර ලෝකයේ සමලිංගිකත්වය සෘජුවම තේමාකරගත් නවකතා, සඟරා ලිපි සහ පුවත්පත් වාර්තාද ලියැවෙන්නට වූ අතර කෙටි චිත්‍රපටිද බිහිවිය.

 එමෙන්ම"faggot"වචනය සමලිංගිකයින්ට අපහාසයක් ලෙසත් , එතෙක් ප්‍රභාසම්පන්න අර්ථයක් ගෙනදුන් ඉංග්‍රීසි "gay" වචනය පිරිමි සහ කාන්තා සමරිසියන්ටත් , සමලිංගික, අන්තර්ලිංගික, සංක්‍රාන්තිලිංගික ඇතුළු ලිංගික සුළුතරය හැඳින්වීම සඳහා "queer" වචනයත් මුල්වරට භාවිත කිරීම ආරම්භකරන ලද්දේද 20වන සියවස ආරම්භයේ සිටය.
එකල ජර්මනියේ තිබූ gay bar එකක්

1920දශකය වනවිට ජර්මනිය, ඇමරිකාව ආදී රටවල සමලිංගිකයින් විවෘතවම සමාජයේ පෙනී සිටිමට පටන්ගෙන තිබූ අතර සමාජය තුළ සමලිංගිකයින්ගේ උප සංස්කෘතියක් නිර්මාණය වෙනු දක්නට හැකිවිය. ඇමරිකාවේ සහ ජර්මනියේ සුළුතරයට සහ සමලිංගිකයින්ට නව සමාජ පිළිගැනීමක් දක්නට වූ අතර මේ නව වෙනස්වීම එම කාලයේ අලුතින් බිහිවූ ගීතවලද දක්නට ලැබුණි. සමලිංගිකයින් වෙනුවෙන් සමිති සමාගම්, බාර් (gay club, gay bar)ද විවෘතවම ක්‍රියාත්මක විණි.ජර්මනියේ බර්ලින් නගරය ඒවනවිට ලෝකයේ සමලිංගික අයිතිවාසිකම් ව්‍යාපාරවල ක්‍රියාකාරීම නගරය බවට පත්වී තිබුණි.

 ලිංගික සාධාරණත්වය පදනම් කරගනිමින් තවත් රටවල සමලිංගිකත්වය නිරපරාධීකරණය කරන ලද අතර 1917දී රුසියානු විප්ලවයෙන් රුසියාව එම නීති ඉවත් කිරීම විශේෂ සිදුවීමක් විය. එහෙත් රුසියානු ඕතඩොක්ස් පල්ලිය සමඟ සබඳතා තර කරගැනීමේ අරමුණින් ජෝශප් ස්ටාලින්ගේ නායක්ත්වයෙන් යලිත් 1933දී සමලිංගිකත්වය සාපරාධීකරණය කෙරිණි. එමෙන්ම ඇමරිකාව යළිත් 1930දශකය තුල එංගලන්තයේ වික්ටෝරියානු සදාචාර පද්ධතීන් ක්‍රියාත්මක කිරීමත් සමඟ සිරගතකිරීම සහ සමාජයේ අවඥාවට ලක්වීම වැළක්වීමට සමලිංගිකයින්ට තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන ජීවත්වීමට බල කෙරිණි. සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස සලකා එයට එරෙහිව නීතිරීතිද ඇමරිකාව තුළ ගෙන ආවේය. එංගලන්තයේ මෙන් ඇමරිකාව තුළද සමලිංගිකයින් අල්ලා ගැනීමට තරුණ රහස් පොලිස් නිලධාරින්ව ඇමක් ලෙස භාවිත වන්නට විය. ඒ කාලයේ මානසික රෝගීන් ලෙස හඳුනාගෙන සිටි සමලිංගිකයින්ව 'සුව කිරීමට'  කර ඇඹීම(වෘෂණ හෝ ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වය රසායනිකව හෝ සැත්කමකින් ඇණහිටවීම-castration), පිණ්ඩ විච්ඡේදනය(මොළයේ පූර්ව ඛණ්ඩිකාවේ ස්නායු පථවලට සැත්කම් අවහිරයක් කිරීම-lobotomy),පියුඩික් ස්නායු සැත්කම(pudic nerve surgery), විද්‍යුත්කම්පන ප්‍රතිකාරය(electoshock treatment) ආදී නිශ්ඵල ක්‍රමවේද බටහිර වෛද්‍යවිද්‍යාවේ භාවිත විය.
නාසි වධකඳවුරුවල සිරකරුවන් හඳුනාගැනීම සඳහා අලවනු ලැබූ සංකේත
රෝස පැහැ ත්‍රිකෝණ ඇත්තේ සමලිංගිකයින්ටය

නාසි වධකඳවුරුවලට ගෙන ආ සමලිංගිකයන්
1933දී ජර්මනියේ බලයට පත් කෲර ආඥාදායකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් ජර්මනිය තුළ සමලිංගික සංවිධාන තහනම් කරන ලද අතර නාසි පක්ෂය තුළ සිටි සමලිංගිකයින්ද මරා දමන ලදී. සමලිංගිකත්වය පිළිබඳ සියලුම පොතපත පුළුස්සා දැමිණි.යුදෙව් විද්‍යාඥයෙක් විසින් පිහිටවන ලද ලිංගික පර්යේෂණ ආයතනයක්ද ගිනිබත් කරන ලදී. නාසි පක්ෂයෙන් ශුද්ධ වූ ජර්මන් ජාතියක් ගොඩනැගීමේ අරමුණින් වහලුන්, යුදෙව්වන්, දේශපාලන සිරකරුවන්,අපරාධකරුවන්,ආබාධිතයින්,අහිකුණ්ටකයින් සමඟ සමලිංගිකයින්ද අත් අඩංගුවට ගෙන සිරගත කරන ලද්දේය. 1933-1945 අතර කාලයේදී  100,000ක පමණ පිරිසක් සමලිංගිකයින් ලෙස සැකසහිතව අත් අඩංගුවට පත්වූ අතර ඉන් 50,000ක් බන්ධනාගාරගත කෙරිණි. 5000ත් 15000ත් අතර පිරිසක් නාසි වධ කඳවුරුවලට ගෙනයනු ලැබූ අතර ඉන් සියයට 60ක් වත් විජලනය, අධික ශීතල සහ වධදීම්වලට ලක්ව මියයන්නට ඇතැයි සැලකේ. රෝස ත්‍රිකෝණයකින් සංකේතවත් කරනලද සමලිංගිකයින්ට නාසි භටයින් අතින් මෙන්ම අනෙකුත් සිරකරුවන් අතින්ද අමානුෂික තාඩනපීඩන වලට ලක්වන්නට සිදුවුණු අතර උමතු විද්‍යාඥයෝ සමලිංගික ජානයක් සහ ප්‍රතිකාර සොයාගැනීමට ඔවුන්ව පර්යේෂණාගාර මීයන් ලෙස භාවිත කළහ.මේ සියල්ල සිදුවූයේ පිරිමි සමරිසියන්ටය. කාන්තා සමරිසියන්ට එතරම් තදින්  නීතිය බලනොපැවැත්වූ අතර ඔවුනට විෂමරිසි වන්නට බල කෙරිණි. එහෙත් ඔවුන්ද ජර්මන් සමාජයට තර්ජනයක් සේ සැලකිණි.

1945දී ඇමරිකන් හමුදාව විසින් මොවුන් මුදවාගනු ලැබුවද එවක පැවති ජර්මන් නීතිය නිසා ඔවුන්ව  ඒවන විටත් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසිණි. ඔවුන්ට රජයෙන් දෙනු ලැබූ දීමනා සහ විශ්‍රාම වැටුප්ද කප්පාදු කෙරිණි.සමහරුන්ව නැවතත් සිරගත කෙරිණි.කෙසේවෙතත් මේ වධබන්ධන සිදුවූ බව 1980 දශකය වනතුරු බහුතරයක් රටවල් විසින් පිළිගත්තේ නැත.ඔබ Bent(1997) චිත්‍රපටිය නැරඹුවානම් ජර්මනියේ නාසින් විසින් කළ මෙම අමානුෂික ක්‍රියා පිළිබඳව අදහසක් ලබාගන්නට පුළුවන.

දෙවන ලෝක යුද්ධයෙන් පසු වර්තමානය දක්වා යුගය ඊළඟ ලිපියෙන්....