Saturday, July 7, 2012

සමලිංගිකත්වය තේමා කරගත් සිනමා නිර්මාණ


සමලිංගිකත්වය තේමා කරගනිමින් විවිධ රටවල සිනමා නිර්මාණ එළි දැක ඇත. බොහෝවිට සංවේදී කතාවක් ඇති මේ සිනමා නිර්මාණ විචාරකයන්ගේ කතාබහට මෙන්ම මතභේදයට තුඩු දෙන අවස්ථාද බහුලය. සිනමා සම්මාන දිනාගනිමින්ද විවිධාකාරයේ විවේචනයන්ට ලක්වෙමින්ද මේ සිනමා නිර්මාණ ලෝකයට එළි දකියි. බහුතර ලෝකයා නොදකින මිනිසුන්ගේ සිත්වල ඇති සැඟවිය නොහැකි සිතුවිලිවල යථාර්තය මෙයින් පෙන්නුම් කරයි. මේ ඒවා අතුරින් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් චිත්‍රපටි සමහරකි.

1.Brokeback Mountain(2005)
බටහිර ඇමරිකාවේ ගොපලු කොල්ලන්(Cowboys) දෙදෙනෙකු අතර ගොඩනැගෙන සංකීර්ණ ආදර කතාවකි. Ang lee විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ප්‍රධාන චරිත රඟදක්වනු ලබන්නේ සම්මානීය නළු Heath ledger සහ Jake Gyllenhaal විසිනි.  සම්මාන 71ක් දිනා ගනු ලැබූ අතර තවත් සම්මාන 52කට නිර්දේශ විය.  ලොව බිහිවූ ආදර චිත්‍රපටි(romance movies) අතර වැඩිම ආදායමක් ලැබූ දසවන චිත්‍රපටිය මෙය වේ.

2. Maurice(1987)
20වන සියවසේ එංගලන්තයේ සිටින Maurice Hall නම් පුද්ගලයකුගේ ජීවිතය කතාව කරගත් චිත්‍රපටියකි.ඔහුගේ පිරිමින් සමඟ ගොඩනැගෙන සබඳතා සහ ඔහු සමලිංගිකත්වයෙන් මිදීමට දරන වෑයම එහි කැපීපෙනෙයි. එකල එංගලන්තයේ සමලිංගිකත්වය සිරදඩුවමක් දිය හැකි වරදක් බවට පත්කර තිබූ නිසා සමරිසියන් බියෙන් ජීවත්වූ ආකාරය මින් පැහැදිලිව දිස්වේ.


3.Priest(1994)
චිත්‍රපටි සම්මාන උළෙල තුනකදී හොඳම චිත්‍රපටිය සඳහා නිර්දේශ වුණු මෙම චිත්‍රපටිය සමලිංගිකත්වය සහ කිතු දහම අතර ඇති ගැටීම පෙන්වයි. Greg නම් කතෝලික පූජකයෙකු, ඔහුගේ සමලිංගිකත්වය සමඟ සිදුකරන සටන මෙහි කතාවට පදනම් වී ඇත. කතෝලික සංවිධානවල දැඩි මතභේදයට තුඩු දුන් මෙම චිත්‍රපටියට ඇමරිකානු දර්ශකයක් ලබා ගැනීම සඳහා නැවත සංස්කරණයට ලක් කිරීමට පවා සිදුවිය.

4. Prayers for Bobby(2009)
70දශකයේ ඇමරිකාවේ ජීවත්වූ Bobby Griffith නම් තරුණයෙකුගේ සත්‍ය ජීවිත කතාවක් ගෙනහැර දක්වන රූපවාහිනී චිත්‍රපටියකි. බොබී තමන් සමරිසියෙකු බව පවුලට හෙළිකිරීමෙන් පසු ඔහු සහ ඔහුගේ මව අතර ඇතිවන සංවේදී කතාවක් මෙම චිත්‍රපටිය පුරාම දිවෙයි. සම්මාන දිනූ සහ තවත් සම්මානවලට නිර්දේශ වූ චිත්‍රපටියකි.

5.Beautiful thing(1996)
එංගලන්තයේ පාසල් වයසේ යොවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු අතර ඇතිවන ආදර කතාවක් තේමා කරගත් චිත්‍රපටියකි. Ste  සහ Jamie සිය ආදරය කියාගත නොහැකිව ලතවී , ආදරය හමුවේ මුහුණ දෙන අභියෝග මෙහි කතාව පුරාම දිවෙයි.


6.Milk (2008)
ඇමරිකාවේ සිටි සමලිංගික අයිතීන් ක්‍රියාකාරිකයෙකු සහ දෙශපාලනඥයකු වූ Havery Milk ගේ ජීවිත කතාව අලලා සැකසුනු චිත්‍රපටයකි. ඔහු විවෘතව සමලිංගිකයෙකු ලෙස කැලිෆෝනියාවේ ඡන්දයෙන් තේරී පත්වූ පළමු පුදගලයා වේ. සමලිංගිකයෙක් ලෙස ඔහු සමාජයට මුහුණදෙන අයුරු මෙම චිත්‍රපටියෙන් මනාව පැහැදිලි වේ.

7.Bent(1997)
දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ හිට්ලර් විසින් සමලිංගිකයින් සිරමැදිරිවලට ගෙනයන විට ඊට හසුවුණු Max සහ Horst නම් පුද්ගලයින් දෙදෙනෙකුගේ සංවේදී කතාවකි. 1997දී කාන්ස් සම්මාන උළෙලේදී යොවුන් සම්මානය හිමිවිය.


8.Bangkok love story(2007)
තමන් මැරීමට ආ කුලියට මිනීමරන්නෙකු සමඟ ආදරයෙන් බැඳුනු මිනිසෙකු ගැන සංවේදී කතාවක් ගැන කියවෙන තායි චිත්‍රපටියකි. Maek නම් මිනීමරුවා සමඟ Lht ගේ ඇතිවන සංකීර්ණ  ප්‍රේමය කියවෙන මෙය ක්‍රියාදාම ගණයේලාද සැලකිය හැකි චිත්‍රපටියකි.

ඔබත් කැමති නම් මේ සිනමා නිර්මාණ නරඹන්න.