Thursday, September 27, 2012

සමරිසිබව හා ජ්‍යෝතිෂය


මම සමරිසි වුණේ ඇයි? මෙය හුඟක් සමරිසියන්ට තියෙන ප්‍රශ්නයක් .පිරිමින්ට නම් සමහරු කියනවා කුඩා කාලෙදි පියාගෙ ආදරය ලැබිලා නැති නිසාලු. කුඩා කාලයේදි පිරිමියෙක්ගෙන් ලිංගික අතවරයට ලක්වුණ නිසාලු. කාන්තාවක්නම් කුඩාකාලෙදි ලැබුණු අත්දැකීම් නිසා පිරිමියෙක් වීම දුර්වලතාවකැයි සිතා ඔවුන් ප්‍රතික්ෂේප කරන නිසාලු.එහෙමත් නැතිනම් පස්සෙ කාලෙක තමන් මේකට වෙන කාහරි නිසා 'පුරුදු වුණ' නිසාලු.

එහෙත් ජ්‍යෝතිෂඥයින් පවසන්නේ ඔබ සමරිසිවී උපදින බවයි.මේ THE TIMES OF INDIA පුවත්පතේ ඒ සම්බන්ධයෙන් පළවූ ලිපියක් ඇසුරින් ගත් කරුණු වලින් සැකසූ ලිපියකි.

වෛද්‍ය ප්‍රකාශ් කොතාරි
ලොව කීර්තිමත් ලිංග විද්‍යාඥයකු (sexologist) වන ඉන්දීය ජාතික වෛද්‍ය සහ මහාචාර්ය ප්‍රකාශ් කොතාරි ජ්‍යෝතිෂය සහ බටහිර ලිංග වෛද්‍යවිද්‍යාව(sexual medicine) සම්බන්ධකරන අධ්‍යයනයක් මුම්බායිහි කෙම් රෝහල, ජී එස් වෛද්‍ය විද්‍යාලය සහ ලිංගික විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුව තුළ සිදුකළේය. එහිදී වෛද්‍ය ප්‍රකාශ්ගේ මිතුරෙකු මාර්ගයෙන් හඳුනාගත් ජ්‍යෝතීර්වේදියෙකු වන බිපින් කුමාර් ජෝශි  විසින් ආචාර්ය ප්‍රකාශ් හමුවට ආ පුද්ගලයකුගේ ලිංගික දිශානතිය ඔහු හා වචනයකුදු කතාබහ නොකර ඔහුගේ උපන්දිනය, උපන්වේලාව සහ උපන්ස්ථානය පමණක් භාවිතකරමින් නිවැරදි ලෙස කීවේය. මින් පුදුමයට පත් වෛද්‍ය ප්‍රකාශ් එවකට මිථ්‍යාවක් ලෙස සැලකුණු ජ්‍යෝතිෂය වැඩිදුර හැදෑරීමට තීරණය කළේය.

වරාහමිහිර

එවිට ජ්‍යෝතීර්වේදි ජෝශි ඔහුට ක්‍රි.ව. හයවන සියවසේ සිටි විශිෂ්ට ඉන්දීය තාරකා විද්‍යාඥයකු සහ ජ්‍යෝතීර්වේදියකු වන වරාහමිහිර(Varāhamihira) විසින් ලියූ ග්‍රන්ථයක් වන 'බ්‍රිහාත් ජාතක්'(brihat jatak) ග්‍රන්ථය හඳුන්වාදුන්නේය. එය වර්තමානයේද ජ්‍යෝතිෂයේ ප්‍රධාන ග්‍රන්ථ පහෙන් එකක් ලෙස සලකන්නකි. එහි සඳහන් කර ඇති ආකාරයට සමරිසිබව උපතින් එන්නකි.

වරාහමිහිර සඳහන් කර ඇත්තේ "කෙනෙකුගේ හඳහනේ ශුක්‍ර(සිකුරු) සහ ශනි(සෙනසුරු) ග්‍රහයින් එකිනෙකාට දිෂ්ටිවන පරිදි පිහිටීමෙන් සහ එම ග්‍රහයින් එකිනෙකාගේ නවාංශකවල පිහිටා ඇත්නම් ඇය තම කාමාශාව සන්සිඳුවාගන්නේ විරුද්ධ ලිංගිකයෙකු ලෙස හැසිරෙමින් තමාගේ ලිංගයේ පුද්ගලයකුගෙනි".

වරාහමිහිරගේ විචාරකයකු වන රුද්‍රභාත් තවදුරටත් සඳහන් කරන්නේ මේ රීතිය එලෙසම පිරිමි හඳහනකටද අදාල වන බවයි. මේ කරුණු සත්‍යදැයි පරීක්ෂාකර බැලීමට ආචාර්ය කොතාරි ඉහත සඳහන් කළ අධ්‍යයනය සිදුකළේය. ඔහු තමා හමුවට ආ සමලිංගික පුද්ගලයින් 80 දෙනෙකුගේ උපන්දිනය, උපන්වේලාව සහ උපන් ස්ථානය පිළිබඳ තොරතුරු ලබාගෙන ඔවුන්ගේ හඳහන් නිර්මාණය කළේය.  වරාහමිහිර විසින් සඳහන් කරන ලද තවත් කරුණු කිහිපයක් ඉවත්කරමින් ඉහත කරුණ ඇසුරෙන් පමණක් හඳහන් පරීක්ෂා කළ ඔහුට පෙනුණේ බහුතරයකගේ හඳහන්වල ඉහත සඳහන් ග්‍රහ පිහිටීම තිබෙන බවයි.තවදුරටත් පරිගණක මෘදුකාංග හරහා සහ ජ්‍යෝතීර්වේදින්මගින් කළ පරීක්ෂාවලින්ද තම ගණනය කිරීම්වල නිරවද්‍යතාවය පරීක්ෂාකළ ඔහුට පෙනීගියේ වරාහමිහිර හයවන සියවසේදී සඳහන් කළ දෙය මින් සනාථ වෙන බවයි.

"වර්තමාන අධ්‍යයන වලින් පෙන්වාදීලා තියෙන්නේ සමලිංගිකත්වය උපතින්ම ලද ජානමය නැඹුරුවක් ඇති දෙයක් බවයි, ජ්‍යෝතීර්වේදයෙන් පෙන්වන්නෙත් සමලිංගිකත්වය උපතින් එන්නක් බවයි. මම විද්‍යාවට නැඹුරු පුද්ගලයෙක් වුවත් මම විශ්වාස කරන්නේ තාරකා විද්‍යාව මත පදනම් වෙච්ච ජ්‍යෝතීර්වේදයත් විද්‍යාවක් බවයි.මම ජ්‍යෝතීර්වේදය පාවිච්චි කරන්නේ මගේ වෛද්‍ය ප්‍රතිකාර වලට මඟපෙන්වීමක් හැටියට විතරයි. මෙවලමක් ලෙස නොවෙයි. බිපින් ජෝශිත් මගේ කාර්ය මණ්ඩලයේ කෙනෙක්. මම මනෝ විද්‍යාඥයින්ගෙන්, ව්‍යාධිවේදීන්ගෙන් උදව් ගන්නවා වාගෙ මොහුගෙ සහයත් රෝග විනිශ්චයට යොදාගන්නවා. සමහර අසාමාන්‍ය ලිංගික හැසිරීම් සහිත පුද්ගලයින්ගෙන් මම අත්ලේ රේඛා සටහන් පවා ලබාගන්නවා." වෛද්‍ය කොතාරි පැවසුවේය.


මේ ගැන ඉන්දීය ජ්‍යෝතීර්වේදියෙකු සඳහන් කරන වීඩියෝ එකක් පහත දැක්වෙනවා. ඔහු කියන ආකාරයට ජ්‍යෝතිෂයට අනුව කෙනෙකු සමරිසිද නැද්ද යනවග නිශ්චිතව  කිවහැකියි.